ඉන්දියාවේ කිරුළ ගිලිහෙයි: වසර 28කට පසු ආසියානු රටක් නොමැතිව සත්කාරක රටවල් අවසන් තරගයට

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඒ ,ඉන්දියාව සමග අද පැවති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 95ක විශිෂ්ට ජයක් ලබා ගැනිමත් සමගිනි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ලබන 29 වන දා මෙල්බර්න් හිදී අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත ය.

වසර 28කට පසු ආසියානු රටක් නොමැතිව ලෝක කුසලානයක අවසන් මහා තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

අවසන් වරට ආසියානු රටක් නොමැතිව ලෝක කුසලානයක අවසන් මහා තරගයක් ක්‍රීඩා කරනු ලැබුවේ 1987 පැවති ලෝක කුසලානයේදී ය.

අද තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 105ක් ද, ආරෝන් ෆින්ච් ලකුණු 81ක් ද රැස් කළහ.

පන්දු යැවීමේදී ඉන්දියාවේ උමේෂ් යාදෙව් කඩුලු 4ක් ද, මෝහිත් ශර්මා කඩුලු 2ක් ද දවා ගත්හ.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 328කි.

ලකුණු 329ක ඉලක්කයක් කරා හඹා ගිය ඉන්දියාව පන්දුවාර 46යි පන්දු 4කදී සියලු කඩුලු දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 233කි.

ඉන්දියාව වෙනුවෙන් මහේන්ද්‍රසිං දෝනි ලකුණු 65ක් ද, ශිකාර් දවාන් ලකුණු 45 ක් ද, රෝහිත් ශර්මා ලකුණු 34ක් ද රැස් කළහ.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියාවේ ජේම්ස් ෆෝක්නර් කඩුලු 3ක් ද, මිචෙල් ජොන්සන් කඩුලු 2ක් ද දවා ගත්හ.

 

මෙවැනි තවත් විස්තර සඳහා පිවිසෙන්න News First වෙබ් අඩවිය වෙත.

(Visited 81 times, 1 visits today)